බසක මහිම

මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ට සිදුවීමක් නම් භාෂාව බිහි වීමයි. වඩාත් නිරවුල් හා පුළුල් ලෙස අදහස් ,තොරතුරු හුවමාරු කිරීමේ හැකියාව මිනිසාට ලැබුණේ භාෂාව මඟිනි. එය මානව සමාජය විසින් ම මානව සන්නිවේදනය හා අන්තර් සම්බන්ධතා ගොඩනැංවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන සන්නිවේදන ‍මෙවලම වශයෙන් ද සැලකිය හැකිය. සරලවම කිවහොත් භාෂාවක් යනු සමාජය තුළ ජීවත් වන පුද්ගලයන් විසින් පොදුවේ එකඟත්වයට පත් කර ගන්නා ලද වාග් සංකේත පද්ධතියකි.

             භාෂාවක් යනු කුමක්ද යන්න අරඹයා විව්ධ විද්වතුන් විසින් අර්ථ දැක්වීම් සිදු කර තිබෙනු දක්නට ලැබෙයි. එසේ ඉදිරිපත් කර ඇති නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය
1. භාෂාව යනු , මානව වර්ගයා විසින් සන්නිවේදනය මෙන්ම අනෝන්‍ය සම්බන්ධය පවත්වා ගැනීම සඳහා යොදාගන්නා අැබ්බැහිකම පදනම් කොට භාවිත කරනු ලබන වාචික, ශ්‍රව්‍ය ,සංකේත සමූහයකින් යුත් ක්‍රම පද්ධතියකි.  (R.A.Hall ,1968) භාෂාව යනු මිනිසුන් 

2.සමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘත්යක කොටස්කරුවන් ද වශයෙන් අනෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා වාක් සංකේත පදධතියකි. (බ්‍රිටැනිකා විශ්ව කෝෂය)


ප්‍රාදේශීය උපභාෂා

යම් කිසි භාෂා ව්‍යවහාරයක් භූගෝලීය හේතූන් මත සීමාකර දැක්විය හැකි නම් , එවැනි  භාෂා ව්‍යවහාරයකට ප්‍රාදේශීය උපභාෂාවක් යැයි ව්‍යවහාර කරනු ලබයි. මෙම භාෂාවන්හි විවිධත්වය රඳා පවතින්නේ එම භාෂාව කතා කරන භාෂක සමාජය පැතිර පවත්නා භූමියේ විශාලත්වය මතය.භූමිය පැතිර පවත්නා විශාලත්වය අනුව උපභාෂා අතර පරතරය වැඩි වනවා සේම භූමිය විශාලත්වයෙන් අඩු වේ නම් එහි පරතරය අවම වේ. ප්‍රාදේශීය උප භාෂාවක් තවත් උපභාෂාවකින් වෙන් කොට හඳුනා ගත හැකි සාධක කිහිපයකි. ඒවා මෙසේය,

01. ශබ්ද විවිධත්වය අනුව පවතින විවිධතා
02. ව්‍යාකරණය අනුව පවතින විවිධතා
03. වාක්කෝෂමය වශයෙන් පවතින විවිධතා

උක්ත දක්වන ලද ප්‍රධාන හේතු කාරණා ත්‍රිත්වය මත පදනම්ව සලකා බලන කළ ප්‍රාදේශීය භාෂා අතර ද යම් යම් වෙනස්කම් පවතින බව හඳුනා ගත හැකිය. එනම් මෙකී අංශ තුනෙහිම උපභාෂාගත විවිධත්වය භාෂාවෙන් භාෂාවට වෙනස් වන බවයි. සිංහල භාෂාව සම්බන්ධයෙන් සලකා බලන කළ මේ අතරින් වාක්කෝෂමය විවිධතා , ශබ්ද විවිධත්වය සහ ව්‍යාකරණමය විවිධතා වලට සාපේක්ෂව වැඩි බව පෙනේ. මෙතැන් පටන් ප්‍රාදේශීය උපභාෂා අතර දක්නට ලැබෙන ශබ්ද විවිධත්වයන් පිළිබඳ අවධානය යොමු කර බලමු.

01.ශබ්ද විවිධත්වය අනුව ප්‍රාදේශීය උපභාෂාවන්හි      විවිධතා

              ගන්ඩ, ඉන්ඩ, කන්ඩ, බොන්ඩ, යන්ඩ, ආදී වශයෙන් "න්ඩ" අන්තය සහිතව බස්නාහිර, වයඹ පළාත් ආශ්‍රිතව උච්චාරණය කෙරෙන මෙම වචන ම දකුණු පළාතේ උච්චාරණය කෙරෙනුයේ "න්න"අන්තය සහිතව ගන්න, ඉන්න,කන්න,බොන්න,යන්න ආදී වශයෙනි.එම වචන පෙළම සළකා බැලුවහොත් එය "න්ට"අන්තය සහිතව උඩරට ප්‍රදේශයේදී ගන්ට , ඉන්ට, කන්ට, බොන්ට ,යන්ට ආදී වශයෙන් යෙදෙනයුරු පෙනේ. ඒ අනුව මෙම වචන උච්චාරණය කිරීමේ දී ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව වරනැගෙන ශබ්ද අතර විවිධතා සහිත බවක් දක්නට ලැබේ. තවද , ධ්වනියේ ද ප්‍රාදේශීය විවිධතා දක්නට ලැබේ. රජරට ප්‍රදේශයේ ඉපිද එහිම හැදුන වැඩුන පුද්ගලයෙකුගේ ධ්වනිය බස්නාහිර හෝ දකුණේ හැදුන වැඩුන පුද්ගලයන්ගේ ධ්වනිය‍ට වඩා වෙනස් ය. තවද දකුණු පළාතේ පුද්ගලයෙකුගේ ධ්වනි විවිධතා එකිනෙකට වෙනස් ය. ශබ්ද විවිධත්වය වශයෙන් සලකා බලන කළ නාගරික උප භාෂාවන්හි ඉංග්‍රීසි තත්සම ඒ ආකාරයටම උච්චාරණය කිරීමට ප්‍රයත්න දරණ අතර පිටිසරබද උප භාෂාවල එවැනි වචන ද දේශීය ශබ්ද රටාවට හරවා ගනී. බල්බ්, ප්ලග් වශයෙන් එක් ප්‍රාදේශීය උප භාෂාවක යෙදෙන වචන තවත් උපභාෂාවක බලුබ්, ප්ලක් වශයෙන් උච්චාරණය කරයි. එය කෙසේ නමුත් ශබ්ද හෝඩිය වශයෙන් ගත් කළ සැළකිය යුතු විවිධතාවක් දැකගැන්ම අපහසුය. 

02.ව්‍යාකරණ විවිධත්වය අනුව ප්‍රාදේශීය උපභාෂාවන්හි විවිධතා.

සාමාන්‍යයෙන් ලෝකයේ භාවිතා වන භාෂාවල ව්‍යාකරණමය විවිධතා බහුල වශයෙන් දක්නට ඇතත් සිංහල භාෂාව තුළ එවන් විවිධතා අල්පය. ව්‍යාකරණ විවිධත්වය අනුව ප්‍රාදේශීය උපභාෂාවන්හි විවිධතා පිළිබඳ සාකච්චා කිරීමේ දී ,
    :-[ පදිම විචාරයට අනුව ව්‍යාකරණ විවිධත්වය.
    :-[ වාක්‍ය විචාරයට අනුව ව්‍යාකරණ විවිධත්වය. 
වශයෙන් දෙඅංශයක් යටතේ විමසීමට ලක් කළ හැක.

සිංහල උපභාෂා අතර දක්නට ලැබෙන සීමිත ව්‍යාකරණ විවිධතා පද විචාරය අනුව එන කරුණු වලට සීමා වේ.
බස්නාහිර හා බිබිල උපභාෂාවේ ක්‍රියාරූපවල වර්තමාන, අතීත යෙදීම් කිහිපයක් ‍විමසා බලමු. 

මරණනවා- මැරෙව්වා (බස්නාහිර)
                    - මරව්වා (බිබිල)
කපනවා     - කැපෙව්වා(බස්නාහිර)
                    - කපව්වා  (බිබිල)
බොනවා    - බිව්වා(බස්නාහිර)
                      බුන්නා(බිබිල) 
එසේම අනියමාර්ථ ක්‍රියා රූප වලදී මරණවා ,කපනවා යන්න බස්නාහිර උපභාෂාවේ දී මැරුවොත් , කැපුවොත්, ආදී වශයෙන් ද බිබිල උප භාෂාවේ දී එවැනි රූප මරව්වොත් , කපව්වොත් ආදී වශයෙන් යෙදේ. බස්නාහිර උපභාෂාවේ ඕ ප්‍රත්‍ය යෙදෙනුයේ මූලික වශයෙන් ක්‍රියා රූපයට පරවය  . එනම් කාපන්කො, බීපන්කො, පලයන්කො , වරෙන්කො, නටපන්කො වශයෙනි.නමුත් බිබිල උප භාෂාවේ 'ඕ'ප්‍රත්‍ය වෙනුවට 'කොයි' වශයෙන් යෙදේ. ඒ අනුව එම වචන පෙළ බිබිල උපභාෂාවෙහි යෙදෙනුයේ  කාපන්කොයි, බීපන්කොයි, පලයන්කොයි, වරෙන්කොයි, නටපන්කොයි ආදී වශයෙනි. එසේ ම භාෂණ සිංහලයේ  විධානාර්ථය ප්‍රත්‍ය රාශියකින් යුක්තය. කරන්න, කරන්ඩ, කරපන්, කරනවා, කරපිය, ආදී වශයෙනි.  මෙහි විවිධත්වය පිළිබඳ කතා බහේ දී දකුණේ කරන්න වශයෙන් ද ඇතැම් උඩරට හා වයඹ  කරන්ඩ වශයෙනුත් යෙදේ. නමුත් බිබිල උපභාෂාවේ මෙම තත්වය වෙනස්ව යෙදෙනු පෙනේ. එහි දී 'ප 'ප්‍රත්‍ය බහුලව  යෙදේ.  කාප, බීප ආදී වශයෙනි. නාමවර නැගීම විෂයෙහි ද යම් යම් විවිධතා දැකිය හැකිය. ඔයවල් , ළිඳවල් යන වචන ආශ්‍රිතව පවතින වල් යන බහු වචන ප්‍රත්‍යය වෙනුවට න් ,ඩ් යන බහු වචන ප්‍රත්‍ය යොදා ළිඳ ළිඳන් වශයෙන්  ඔය ඔයන් වශයෙන් බිබිල ප්‍රදේශයේ වරනඟනු දක්නට ලැබේ. 

03. වාග්කෝෂමය විවිධත්වය අනුව ප්‍රාදේශීය භාෂාවල         විවිධත්වය.


ප්‍රාදේශීය උප භාෂාවන්හි විවිධත්වය වාග්කෝෂමය වශයෙන් වැඩි පෘථුගත්වයක් දරයි. ප්‍රදේශ කිහිපයකට ආවේණික වු වචන පද්ධතිය විමසා බැලීමෙන් මේ අදහස සනාථ කර ගනිමු. 

දඹාන ආදීවාසී ජනවහර

කැකුළා-පිරිමි දරුවා
කැකැළි -ගැහැණු දැරිවි
ගයිගැට -පුවක්
මයිලා-ලේනා
මප්පි-කුරුල්ලා

පයාගල ධීවර ජනවහර
තණ්ඩලේ- නායකයා
රේන්දකාරයා-වෙන්දේසිකාරයා
පන්නකරනවා-දැලදානවා
අටල-හබල
ඇනිබංකුව-ඔරුවේ අයින

බිබිල උපභාෂාව

අට්ටාලය- ගස උඩ බඳින ලද කුඩා පැල
එළවනවා-අඹනවා
ආරවැල්-කුඩා දිය පාරවල්
නලංගුවක්-කරදරයක්
තියඹරා-පිපිඤ්ඤා

මොණරාගල උපභාෂාව

සකලයා-කුරුල්ලා
කුදහන්නැතුව-පමා නොවී
පොල් ඔයනවා-පොල් ලෙලිගහනවා
නැතුං-නැතුව
දුවගේ සැමියා-දූ පුතා 

පුස්දිවුල්වැව උපභාෂාව

හොඳයා-වඳුරා
හෙයියන්මාරුව-රණ්ඩුව
පැටික්කා-පැටියා
අම්මණ්ඩී -මාමා
කටපුංචා-තුවක්කුව

මේ සියල්ලක් විමසා බලන කළ භාෂාව තුළ ප්‍රාදේශීය උපභාෂාවන්ට හිමි වටිනාකම පැහැදිලිය. ඕනෑම ජීව භාෂාවක් සතුව භාෂාවේ මෙවන් විවිධතා පැවතිය හැකිය.

















































Comments

  1. ගොඩක් වැදගත් ලිපියක්....තව ලියන්න මෙවැනි ලිපි....👍

    ReplyDelete
  2. Tnx lot. because It's best description

    ReplyDelete
  3. වාග් සංකේතයන්හි සමාජ සංම්මුතික භාවය පිළිබද පැහැදිලි කිරීමක්

    ReplyDelete
  4. විශ්ව විදයාලයේ උගන්නපු අපැහැදිලි දේවල් බොහොමයක් පැහැදිලි උනා ස්තූතියි 🌟

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ

අපේ කෘෂි සංස්කෘතිය