අපේ කෘෂි සංස්කෘතිය

"මයෙ අප්පලාට ඕන්න ඉතිං මේ අක්කා කියා දෙන්ඩ යන්නෙ අපේ කෙත ,බත,කමත එක්ක බැඳිච්ච අපූරු සංස්කෘතියෙන් ඩිංගිත්තක්... හා ... හා... හොඳා හොඳා ...ඔය දාංගලේ නතරකොරලා මේ පිල්කඩෙං ඉඳගනිල්ලකො හොඳ එකාලා වගේ. හිරිකේඩුකම නැති වෙන්ඩත් එක්ක  මං උඹලට කවියක් දෙකකුත් කියල දෙන්නම්කො .. උඹලා, කැත්තෙ උදැල්ලෙ වැඩක්පලක් එහෙම දන්නව කියල යැ. උඹලයෙ මහ එකාලට නම් අපි ඒ වැඩ රාජකාරි අකුරටම කියල දුන්න නෙව ඒ කාලෙ. 

"අක්කෙ, සංස්කෘතිය කියන්නෙ මොකද්ද?"

සංස්කෘතිය කියලා කියන්නෙ මල්ලි රටක මිනිස්සුන්ගේ අනන්‍යතාව කියාපාන දේවල් වලට. කලාව, සාහිත්‍ය, භාෂාව, ඇඳුම් පැළඳම්, මෝස්තර, ආහාරපාන, සිරිත්,ආගම මේ වගේ ජීවන චර්යාවත් එක්ක එක්කාසු වෙච්ච ගොඩක් දේවල් සංස්කෘතිය කියන වචනෙ ඇතුළෙ තියෙනවා.

එතකොට අක්කෙ, කෘෂි සංස්කෘතිය කියල කිව්වේ...? පහන් මල්ලි කුතුහලයෙන් මෙන් ඇසුවේය.

ඔව් මල්ලි, ලංකාවේ මිනිස්සු සතා සිව්පාවා , ඇළ දොළ , ගංගා ,වැව් අමුණු, එක්ක විතරක් නෙවේ, කෙත කමත එක්කත් ගණුදෙනු කරන්නෙ ලෝකෙ වෙනත් රටවල් වල නැති තරම් පුදුමාකාර බැදීමකින්. ලෙංගතුකමකින්, ඉතින් එහෙම ගණුදෙනු කරද්දි ඒ වටා අපූරු චර්යා රටා සමුදායක් නිර්මාණය වුණා. ඒක මේ අද ඊයෙ වෙච්ච දෙයක් නම් නෙවෙයි. ආර්යන් ලංකාවෙ ජනවාස පිහිටුවගෙන ක්‍රමවත් පිළිවෙලකට ජීවන රටාවට හුරුවුණා. ඒ කාලෙ ඉඳන්ම අපේ වැව , කුඹුර, කමත එක්ක අපූරු ජන ඇදහිලි, විශ්වාස, භාෂාව, කෙම් ක්‍රම, ජන විඥානය, ජන කලාව, මේ වගේ හර පද්ධතියක් නිර්මාණය වීම ආරම්භ වුණා. අන්න ඒ දේවල් එක්ක මෙරට ප්‍රධාන රැකියාව වුණ කෘෂි කර්මාන්තය එක්ක සංස්කෘතිය පෝෂණය වීම සිද්ධ වුණා.
මිනිස්සු කෘෂිකාර්මික කටයුතු එදා සිදු කළේ හරිම සාමූහිකව. අත්තම් ක්‍රමයට. හේනේ , කුඹුරෙ වගා කළේ නිසි වගා කාල සටහනකට අනුව. මිනිස්සු යල කන්න වගේම මහ කන්නේ වැඩ ඇරඹුවෙ වැහි රටාවෙ ලකුණු දැනගන.
ප්‍රධාන වශයෙන් මෙරට කෘෂිකටයුතු

හේන් ගොවිතැන(ගොඩ ගොවිතැන)
කුඹුරු ගොවිතැන(මඩ ගොවිතැන)

වශයෙන් සිදු කෙරෙනවා. ඒ කෘෂි කටයුතු සිද්ධ කළේ  ඉන්ඳ්‍ර , චන්ඳ්‍ර දේවත්වයෙහි ලා සලකමින්. සංහිඳට භාර හාර වෙලා ගමේ වැව රැකල දෙන්න කියලා ගම්භාර දෙවිවරුන්ට  කන්නලව් කෙරුවෙ මහති භක්තියෙන්. අක්වැහි පුරද්දි අහස පොළොව දේවත්වයෙහි ලා සලකමින් තමයි ගොවියො කුඹුරට බැස්සෙ.අස්වනු කිරට නැවෙද්දි පළමු කොටහ අක්යාල විදිහට බුදුපුදට වෙන් කළේ ඒ අපරිමිත විශ්වාසය තුළයි. ඉඳුල් නොකොට කිරි ආහාර පූජා කළේ ගමේ කවුරුත් සංහිඳ ලඟ කිරි ඉතිර වීමෙන්. කමත ශුද්ධ භූමියක් සේ සලකමින් බැත ටික රාහි කරගන්න, අම්බරුවාට දරු සෙනෙහසින් කතා කළ ජාතියක් තවත් නැති තරම්ය.  එතකොට පේනවා අපේ කෘෂි සංස්කෘතිය හා බද්ධ වෙච්චි ඇදහිලි විශ්වාස පද්ධතියක් තියෙන බව. සංස්කෘතියක අගය කියාපාන එක ලක්ෂණයක් විදිහට ඇදහිලි විශ්වාස හඳුනගන්න පුළුවන්.

කෘෂිසංස්කෘතිය මනාව පිළිබිඹු කරන තවත් අංගයක් ලෙස අපේ ජන සාහිත්‍ය හැඳින්විය හැකිය.
නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි, කමත් කවි, යාතිකා, අඬහැර මෙරට කෘෂි සංස්කෘතියට ජීවය දුන්නා. ගොවියාගෙ පාළුව ,තනිකම, බිය වගේම වෙහෙස මහන්සිය මඟ හරවගන්න ජන කවිය නිර්මාණය වුණා.

පැලේ පැදුර හේනට අරගෙන    යනවා
එළා පැදුර මැස්සේ එහි   සැතපෙනවා
රටා වියපු අත්දෙක මට  සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
      (පැල් කවි)


වන සිවුපාවුන්ගෙන්, කෘමීන්ගෙන් , වගාව ආරක්ෂා කර ගන්නත්, වගාවට හිතකර සතුන් රැක දෙන ලෙසත් ඉල්ලමින් යාතිකා කළා. ගිනි එළවුම් යාතිකාව , වල් ඇල්ලුම් යාතිකාව ඒ  වගේ එක උදාහරණ කීපයකි.

හූ  හූ  හූ 
අවසරයි ආයුබෝ , මේ අඩවිය රැකුම් බැලුම්කර වදාරන
දේවතා මහමුත්තප්පාගේ අඥාවෙන් ආනුභාවයෙන්
මේ වේලුම්පැළැස්සේ ඉහළ සිට පහළට ගෝටා ගැහී දරණ ගැහී ගුලි ගැහීවක් ගැහී හිල් ගැහී ඉන්නා
පා ඇත්තෝ පා නැත්තෝ තටු ඇත්තෝ තටු නැත්තෝ කටු ඇත්තෝ කටු නැත්තෝ උරගාන්නෝ කුරගාන්නෝ 
එකී මෙකී කුරා කූඹියාගේ පටන් 
බූටෑවේ මහ ඇත්තා දක්වා වූ සියලු ප්‍රාණීන් මේ හූවෙන් මේ වේලුම් පැලැස්සෙන් පිටමං වෙන්න...
(වල් ඇල්ලුම් යාත්කාව),
ගොවියා හේනක් ගිනි තැබීමට පෙර මේ යාතිකාව වරු තුනක් තිස්සේ හේන වටේ ඇවිදිමින් මහ හඬින් යාතිකා කරයි.
මීට අමතරව හූ යාදින්න ගිනි යාදින්න වැනි යාදිනීද දැක ගත හැකියි.
කෘෂි සංස්කෘතිය හා බැඳුණ ජන කලාවන් අතර සොකරි , සඳකිඳුරු නාඩගම වැනි නාඩගම් කලාවට සුවිශේෂ වටිනාකමක් හිමි වේ. ගොවිතැන් කර ගොයම් කපා පාගා අස්වනු නිවෙස් තුළ‍ට ගත් පසු එළඹෙන විවේක සමයේ වෙල් යායක් මධ්‍යයේ ඇති කමත් බිමේ සොකරි නාඩගම සිදු කරයි.සරුසාර අස්වැන්නක් ලබා දීම හේතුවෙන් පත්තිනි දෙවියන්ට සහ කතරගම දෙවියන්ට උපහාර පිදීම අරඹයා සිදු කරන පූජාවක් වශයෙන් හැඳින්විය හැකිය. කෙම්මුර දිනක සිදු කරන මේ කාර්යය අවසන කිරි උතුරුවා පත්තිනි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිරිතයි.
ගොවිජන වහර කෘෂි සංස්කෘතියේ අගය කියාපාන මහඟු දායාදයකි. කෙතට, කමතට, හේනට ආවේණික වූ වදන් රැසක උපත සිදු වූයේ මේ සංස්කෘතිය තුළය. මේ ඉන් කිහිපයකි.
ලියද්ද, නියර, ඇලමං, උමය, වක්කඩ, කයිය, පෝරුව, අත්තම, ඇඹුල , අම්බරුවා, වියගහ, නඟුල, බෝලත්ත, පැඟිරි කොළ, කළවිට, උකුණුගහ(උකුණු දැත්ත), බැත, මැඩුවන්, උප්පිඩ, මාප්පිඩ, ඉල් වැස්ස, අක්වැස්ස, අසනි වැස්ස, නිකිණි පාළුව, අක්යාල, යාල්ලනවා, ලාහ, පානම, අතලය  , වටමළු, කලප්පන්න, ඒ අතරින් කීපයකි.
මේ ආදී වශයෙන් අපට අනන්‍ය වූ කෘෂි සංස්කෘතියක් පැවතුණි. නමුත් වර්තමානය වනවිට  ශ්‍රීලාංකේය මහා සංස්කෘතිය විපරිණාමය වූවාක් මෙන් කෘෂි සංස්කෘතික හර පද්ධතීන් ද වල් වැදෙමින් අභාවය කරා ගමන් අරඹා ඇති බව පෙනේ. අත්තම් ක්‍රමය වියැකී ගොස්සය, අම්බරුවා විශ්‍රාම යවා යකඩ කඳන් වලට සියල්ල භාර දී ඇත. වත් පිළිවෙත් අමතක වෙමින් පවතී. නෙළුම් කවි , කමත් කවි හෝ සොකරි නාඩගම අද දුරස්වී ගොසිනි. එහි ද ඇත්තේ දැන් "අමුතු සංස්කෘතියකි"

(දීපිකා ප්‍රියදර්ශනී ඒකනායක)
ශ්‍රීලංකා රජරට විශ්ව විද්‍යාලය
භාෂා අධය්‍යනාංශය.



Comments

Popular posts from this blog

බසක මහිම

සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ