සීගිරි කවියෙහි ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණක් නොවේ

අනුරාධපුර යුගයේ දී උද්දීඋප්තියට පත් සිංහල සංස්කෘතියේ ජීවගුණය පිළිබිඹු කරන කැටපත වනාහි සීගිරියයි.සොඳුරු හැඟුමින් මතකය ස්පර්ශ කරන කැටබිතෙහි ඇති ගී වනාහි රසයෙන් මනකුල්මත් කරන්නකි. සීගිරි නැගීම හේතුවෙන් ලලනා ලාලිත්‍යයෙන් චිත්තප්‍රීතියට පත් වූ ජනයා ගිහිපැවිදි භේදයකින් තොරවම සිතිවිලි කවි බවට පෙරළන ලද්දේ කැටබිතට අරුතක් දෙමිනි. සීගිරි කැටපත් පවුරට අමිල අගයක් එක්කළ සීගිරි රජදහන පුරා පැතිරී ඇත්තේ හෙළබසේ ගීතවත් බවයි. එහි ප්‍රාණවත් බවයි. පන්සීයක් පමණ සීගිරි අඟනුන්, සීගිරි රාජධානියේ කලාත්මක වූ වාස්තු විද්‍යාත්මක අගය , සීගිරි පවුවට යන දුර්ගමාර්ගය මෙන්ම අවට පරිසරයේ දර්ශනීය බව සීගිරි කවියාට වස්තු සැපවූයේය. මේ කලාත්මක අංග හේතු කරගෙන කවියා කවි ලියූවද ඒ තුළින් කුළුගැන්වූ යේ සාහිත්‍යමය අගයක් පමණත් නම් නොවන බව මේ කවි විමසුමට ලක් කිරීමෙන් පැහැදිලි වේ. එබැවින් සීගිරි ගී මගින් මෙරට සමාජ ,ආර්ථික ,දේශපාලන වටපිටාව පිළිබඳ කරුණු කාරණා කිහිපයක්ම අනාවරණය කරගත හැකිය. එය කරුණු කාරණා කිහිපයක් ඔස්සේ මෙසේ පෙළගැස්විය හැකිය.

  • භාෂාත්මක ලක්ෂණ
  • විදේශීය සම්බන්ධතා
  • අධ්‍යාපන ක්‍රමවේදය
  • කෘෂිකාර්මික ජීවිතය
  • තත්කාලීන දේශපාලන තත්ත්වය
  • බෞද්ධාගමික සමාජ පරිසරය
  • ග්‍රාම නාම පිළිබඳ තොරතුරු 
මේ ආදී වශයෙන් වන කරුණු කාරණා පිළිබඳ තතු හෙළිවේ.ඒ අනුව සීගිරි කවි ඇසුරු කර ගනිමින් උක්ත කාරණා සපථ කළ හැකිය. මෙතැන් පටන් අප අවධානය යොමු කරන්නේ මෙම කාරණා සන්නිදර්ශනාත්මකව පැහැදිලි කිරීම පිණිසය.
     සීගිරි කවිය සාහිත්‍ය අගයෙන් ‍පෝෂණය වූවා පමණක් නොව එමගින්  අපගේ සිංහල භාෂාවේ ප්‍රභවාත්මක සාධක පිළිබඳව ,ව්‍යාකරණ ලක්ෂණ පිළිබඳ කරුණු කාරණාද හෙළි වෙන්නේ නැතුවම නොවේ. වෙනත් ඉන්දු ආර්ය භාෂාවල නොමැති "ඇ"කාරය භාෂාවට එක් වූ බව මධ්‍යතන යුගයේ පැවති සීගිරි ගී වලින් හෙළි වේ.
"නිල්කට්රොට් මලෙක ඇවුළුණු වැට්කොට් මල් සේයි.. "
"සවබරණින් සැජි ගිරහිසැ සිටිහි කුමට (03 පද්‍ය)
"හසුන් ළතා ළතා ළ නො මෙළෙකෙන්නෙය්
                                                            තම(නට්) 
මෙහි තමනට් යන පදය වනාහි තමා යන්නට එකල භවෙිත වූ බහුවචන සර්වනාමයක් යැයි සිතිය හැකි බව උගතුන්ගේ මතයයි.
මේ අවදියෙහි ජනතාව අසල්වැසි රටවල් සමඟ සබඳතා පැවැත් වූ බවට සාකෂි සීගිරි ගී තුළින් සොයා ගත හැකිය.දඹදිව සිට පැමිණි පුද්ගලයෙකු සීගිරි කාන්තාවක සමඟ සංවාදයක යෙදුණු ස්වරූපයෙන් ලියැවුණ ගීයක් එකී අදහස මෙහි සපථ කිරීමට යොදාගත හැකිය .
"ස්වස්ති
   හෙළදිව් අ ජබුදුවු දතිමි පතකදි                                                                         කෙ(සෙ)ලමි..."  (293)
චීන රටේ පටපිළියෙන් සැරසී පැමිණි ගැහැණියක පිළිබඳ 399කවියෙන් කරුණු හමුවේ.
වහවත වහවත (මෙ)සෙයනි අ(ප)සිති වීයි(න)....(399)
චීන රෙදි වලින් තැනූ ඇඳුමක් හැඳගත්  තැනැත්තියක් පිළිබඳ උක්ත කවියෙන් කියැවේ.
       එපමණක් ද නොව සීගිරි ගීයෙන් මෙරට අධ්‍යාපනය පිළිබඳ තතු හෙළි කරයි. 506වන කවිය මඟින් සංඛ්‍යාදර්ශන හදාළ බව දක්වයි. විෂේශයෙන්ම රනහල පිරිවෙන(310), තරල්පා පිරිවෙන(130), ඇතුළු විධි පිරිවෙන(506), කබල්නාපා පිරිවෙන(602)වැනි පිරිවෙන් කිහිපයකින් පැමිණි භික්ෂුන් වහන්සේලා කවි ලියා ඇති බැවින් එම පිරිවෙන් එකල අධ්‍යාපන ක්‍රියාවලියට දායක වූ ආයතනව පැවතෙන්නට ඇතැයි සිතිය හැකිය.
   අප රටේ ප්‍රධාන වශයෙන් ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන වශයෙන් ප්‍රධාන ආකාර දෙකක් පවතින බව අපි දනිමු. ඒ අනුව ප්‍රධාන කොට වියළි කලාපයේ ගොඩ ඉඩම් ආශ්‍රිතව කැකිරි ,වැටකොළු, කොමඩු වැනි දෑ අද මෙන්ම එදත් වගා කරන්නට ඇත. එකල කැකිරි ,කොමඩු වැනි දේ වගා කළ බව පෙනේ.
කොමුඩ් අමඩ් ලෙඩ් ලින    සී
එ බොන්ද් මියුර් යහ  බැ     සී
එ කපල්දල වන්  දිගැ          සී
මන ජල්(ව)යි (සිත්)නොමු  සී (103)

(එත සී) අමඩ්ලෙඩ් වුන තම්තොල් වුනා...(357 ¡¡ )
 
              එසේම තත්කාලීන දේශපාලන තොරතුරු පිළිබඳව ද තොරතුරු හෙළි වේ. සීගිරි ගී වලින් රජවරු කිහිප දෙනෙකුගේම නම් සඳහන් වී ඇති බව දැකගත හැකිය. 63,148,627,667, යන ගී උදාහරණ කවි ලෙස ගත හැකිය.
ස්වස්ති
සිරිසග්බො අබා මහරජ් උදා කී වදන් මසිව් ගෙන ඇවිද් ලීවේ මේ ගීය.....(667)
සිරිසග්බෝ අබා නම් විරුද නම් ලත් උදා නම් මහරජ කී වදන් ගෙන අවුත් මාසිව් නැමැත්තා විසින් මේ ගීය ලියන ලද්දේය යනු මේ කවියේ අදහසයි.
මේ ආදී වශයෙන් රජවරු පිළිබඳ තොරතුරු හෙළි වේ. ඊට අමතරව රාජ්‍ය නිලනාම , නිලධාරී තන්ත්‍රය පිළිබඳ කරුණු සනාථ වේ. ඈපා ,මපා ආදී තනතුරු පිළිබඳ සීගිරි කවි වල තොරතුරු හමුවේ. 53 , 119, 469,640යන ගී වල මිහිදල අෑපා කෙනෙකු ගැන කියවේ. 151ගීයේ එන "අරකෙලේ"යනු ආරච්චි යන තනතුරට සමාන නාමයක් බව විද්වත් මතයයි.

මතු සම්බන්ධයි..

ඊ.එම්. දීපිකා ප්‍රියදර්ශනී ඒකනායක
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
භාෂා අධ්‍යනාංශය
සිව්වන වසර




Comments

Post a Comment

Popular posts from this blog

බසක මහිම

අපේ කෘෂි සංස්කෘතිය